Breaking News

Responsive Ad Here
Responsive Ad Here

"ඔවුන් හිතුවා මම නිළියක වෙන එක පවුලට වාගෙම මගේ අනාගත ජීවිතයටත් ලොකු කැළලක් කියලා.." - මල්කාන්ති ජයසිංහ

Responsive Ad Here
බොහෝ කලාකරුවන් මේ දවස්වල දෙන සුපුරුදු උත්තරය මමත් දෙන්නම්. කොරෝනා නිසා ගෙවල්වලට හිරවෙලා හිටපු කාලේ නිමවෙලා මමත් දැන් දැන් ආයෙම ෂූටීන්වලට යනවා. මේ දවස්වල ‘අකුරු මැකී නැහැ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා.

බොහෝ විට, ඔබ හැමදාමත් වැඩ තියෙන නිළියක්. එහෙම නේද මල්කාන්ති?
අනේ මන්දා… හැම දෙනෙක්ම වාගේ මට එහෙම කියනවා… මං හිතන්නේ වාසනාව වෙන්නැති.

‘නිළියක්’ යන ප්‍රතිරූපයෙන් බැහැර වූ කල ඔබ ඉතාම සරල කාන්තාවක්ලු?
ඔව්… මම හුඟාක්ම සරලයි. නිළියක ලෙස මා තුළ තිබෙන සාර්ථකත්වය කෙතරම්ද? එයට වඩා වැඩි සාර්ථකත්වයකින් මම මගේ ‘පවුල’ තුළ රඟපෑමක් නොවන රංගනයක නිරත වෙනවා.

ඒ කියන්නේ ‘සෙට්’ එකක් නැති තැන ඔබ මේක්-අප් නැති සාමාන්‍ය ගැහැනියක්?
අනිවාර්යයෙන්ම ඒක එහෙමමයි… එකක් මම නිළිකම සාමාන්‍ය ජීවිතය තුළ ආරූඪ කරගෙන නැහැ. අනෙක අපේ රටේ ‘නිළිය’ කියන නාමයට හෝ වෘත්තියට ගෞරවයක් නැහැ. ‘නිළියක්’ කිවුවම හැමෝම බලන්නේ වපර ඇහෙන්… නිළියක් කියන්නේ ‘ගෞරවය’ යන අර්ථයෙන් බැහැරව ගිය කෙනෙක් විදියටයි බොහෝ විට සමාජය පිළිගන්නෙ. ඇත්තෙන්ම එය කනගාටුවක්.

ඔබ නිළියක් වෙනවට අම්මයි – තාත්තයි අකමැති වුණෙත් ඒ සිතුවිල්ල තුළ වෙන්න ඇති?
ඔව්… ඔවුන් හිතුවා මම නිළියක වෙන එක පවුලට වාගෙම මගේ අනාගත ජීවිතයටත් ලොකු කැළලක් කියලා.

දැන් ඔවුන් ඒ සිතුවිල්ලෙන් බැහැර වෙලා නේද මල්කාන්ති?
ඒ සිතුවිල්ලෙන් ඔවුන් බැහැර වුණේ මං තුළින් ලද අත්දැකීමෙන්. ‘රටක් පිනවන නිළියකට’ හොඳ බිරියක්, අම්මා කෙනෙක්, වාගෙම වැදගත් කාන්තාවක්ද වෙන්නට පුළුවන් බව මගේ මවුපියන් මා තුළින් පැහැදිලිව දැක්කා. එය මම ඕනෑකමින් ඔප්පුකර පෙන්නන්න ගියේ නැහැ. මගේ වටපිටාව තුළින් ඔවුන් එය වටහා ගත්තා.

නිළියක් වෙන්න හීන දැකපු නැති ඔබ නිළියක වුණේ කොහොමද?
ඒක හරිම අපූරු අහම්බයක්. අදටත් හිතාගන්න බැහැ මම නිළියක වුණේ කොහොමද කියලා. ඔබට මතකද දන්නෙ නැහැ එක්දහස් නවසිය අසූගණන්වල ‘ලක්ස්’ සබන් කැටය ජනප්‍රිය සිනමා නිළියන්ගේ දිස්නය දෙන පින්තූර සමඟ කාලයක් අලෙවි වුණා. ගීතා කුමාරසිංහ, මාලිනී ෆොන්සේකා යන ප්‍රවීණ නිළියන්ගේ වාගෙම හින්දි නිළියන්ගේ පින්තූරද එහි තිබුණා. ඒ දවස්වල කාන්තාවන්, තරුණ ගෑනු දරුවන් පොරකකා එකතු කරන ඒ ලස්සන පින්තූර මම මිතුරියකට දුන්නා මිසක ඒවා අල්මාරිය කොනක එකතු කරන ආශාවක්, ලෝබකමක් මගේ හිතට දැනුණෙ නැහැ. පැහැදිලිවම ජනප්‍රිය නළුවා, නිළිය කියලා කෙනෙක් මගේ ලෝකේ කවදාවත් හිටියේ නැහැ.

සෝමලතා සුබසිංහගේ වැඩමුළුවට ගියේ මොන හේතුවකටද එතකොට?
ඒ පාසලෙන් ලැබුණු අනුග්‍රහයක්, කලා නිර්මාණයක් ‘රස විඳින්නේ කොහොමද’ යන තේමාව යටතේ සෝමලතා සුබසිංහ මහත්මිය පවත්වන වැඩමුළුවකට ළමයි 25ක් තෝරාගන්න අපේ පාසලට එතුමිය ආව වෙලාවෙ මමත් එයට ඇතුළත් වුණා. නිළියක වීමේ අහම්බයෙහි ආරම්භය තමයි ඒ. වැඩමුළුවට සහභාගි වී දවස් දෙක තුනයි ගියේ. සිංහල සිනමාවේ පතාක යෝධයෙක් මාව එයාගේ චිත්‍රපටයකට තෝරාගත්තා. ඒ ධර්මසේන පතිරාජ මහත්තයා.

දෑස්, කන් අදහාගන්න බැරුව ගියාද?
එහෙමමත් නැහැ.., මොකද රඟපෑමේ උමතුව තිබුණෙ නැහැනේ… හැබැයි රඟපාන්න මම කැමැත්ත දුන්නා. ඒ ආරම්භක ගැම්ම තමයි මම හිතන්නේ දිගු ගමනකට ආශිර්වාදයක් වුණේ.

ඉන් පස්සේ ඔබ ‘මූදු පුත්තු’න්ට මැදිවුණා?
ඔව්… ‘මූදු පුත්තු’ හී මම රඟපෑවේ සිරිල් වික්‍රමගේ, නිහාල් ප්‍රනාන්දු සහ සෝමලතා සුබසිංහ වැනි මහා කලාකරුවන් සමඟයි. එතකොට මට යම්තමට වයස 25 පිරුණා විතරයි.

හැබැයි ඔබට රඟන්නට වුණේ වියපත්ම චරිතයක්?
ඒකනේ අපූරුව කියන්නේ.., සෝමලතා සුබසිංහ, සිරිල් වික්‍රමගේ, නිහාල් ප්‍රනාන්දු යන සියලුම ප්‍රවීණයන්ගේ අම්මා වූයේ මමයි. හැබැයි එය මට අමුත්තක් වුණේ නැහැ. හොඳ නිර්මාණයකට දායක වූ සතුට පමණක් හිතේ මුල්වුණා.

අදටත් ඔබව බොහෝ විට තෝරා ගැනෙන්නෙ වියපත් චරිත සඳහායි?
ඒ මට ලැබෙන විදියයි.., මම දන්නෙ නැහැ ඇයි කියලා… හිතෙන විදියට මම වයසට වඩා මෝරලා පෙනෙනවා ඇති.

කොණ්ඩෙ ඩයි කළා නම් හොඳ නැද්ද?
මට පොඩි ඇලජික් එකක් තියෙනවා ඩයිවලට.., ඒ වගේම කොණ්ඩෙ පැහෙන වාරයක් ගානේ මාස්පතා සැලොන්වලට දුවන එක මට මහා මානසික වදයක්. ඒ නිසා සුදු කොණ්ඩෙ හොඳයි කියලා හිතුණා.

ඔබ චරිත තෝරන්නෙ, බේරන්නෙ නැහැ?
කවදාවත් නැහැ.., ලැබෙන චරිතය සංකීර්ණද, සරලද, කළුද, සුදුද යන්න මට අදාළ නැහැ. මම ප්‍රහර්ෂණාත්මක චරිතත් කරනවා. යම් චරිත නිරූපණයක් තුළින් එම නිර්මාණයට සාධාරණත්වයක් ඉටුවෙනවා නම් මම එය බාර ගන්නවා.

රඟපෑ චරිත අතර ඔබ වැඩිපුර අගයන චරිතය ගැන ඇහුවොත්?
තෝරන්න හරිම අමාරුයි. සෙසු චරිත එහාට මෙහාට කරලා එවැන්නක් සෙවීම හිතට දොම්නසක් වාගෙම වෙහෙසක්.

අහම්බයකින් ලද ‘නිළිකම’ සාර්ථක වීම ගැන ඔබට දැනෙන හැඟීම?
අනේ මන්දා… මට එහෙම විශේෂ හැඟීමක් දැනෙන්නෙ නැහැ. ලැබෙන චරිතය වෙනුවෙන් හැකි උපරිමය කරනවා. එපමණයි.

මල්කාන්ති… ඔබ ටිකක් වෙනස් කෙනෙක්?
කවුරුත් එහෙම කියනවා… හැබැයි මම දන්නේ ‘මල්කාන්ති ජයසිංහ’ සරලයි, සාමාන්‍යයි කියා පමණයි.

රංගන ජීවිතය ගැන යම් බලාපොරොත්තු තියෙනවද ඔබට?
බලාපොරොත්තු නැහැ. හීන නැහැ.., හැබැයි මම හොයනවා මම කවුද කියන එක. මම මේ ඉන්නේ මම ඉන්නම ඕනෑ තැනද කියන එක ගැන මම හෙමින් හොයනවා.

සෙවිල්ල අවසානයේ ‘ඔබ සිටින්නේ අවැසි තැන නෙවෙයි’ කියා හිතුණොත්?
පෙරනිමිති බලන්නෙ නැහැ… එය එදාට තීරණය වේවි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

0 Comments