Breaking News

Responsive Ad Here
Responsive Ad Here

"කණ්ඩායම් විවේකාගාරයට ඕවා ගෙනියන්න දෙන්නෙත් නැහැ.." - ඕමි ගහපු හේතුව සුරංග ලක්මාල් හෙළි කරයි

Responsive Ad Here
දකුණත් පිතිකරුවෙක් වගේම වේග පන්දු යවන්නෙක් විදිහට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශක්තිමත් කරන සුරංග ලක්මාල්ට බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය හිමි වෙනවා, 2009 වර්ෂයේ සිට මේ දක්වා එක්දින පිටියේ දකින්න ලැබෙන සුරංගගේ දක්ෂතා ටෙස්ට් පිටියෙන් වගේම පන්දු වාර 20යි 20 පිටියෙනුත් දකින්න ලැබෙනවා. අවසන් වූ ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කළ සුරංග ක්‍රිකට් ජිවිතේ හා ඔහු ගැන අපිත් එක්ක කතා කළා. මේ ඒ කතාබහ ගැනයි.

කොහොමද සුරංග, ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව විවේකයෙන් කාලය ගත කරනවද..?
නිම වූ ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව පොඩි විවේකයක් ලැබුණා. මම පවුලේ අය එක්ක කාලය ගත කරන්නේ මාස 2කට පස්සේ. විදෙස් තරඟ නිසා නිවසේ හිටියේ නැහැ. ඒ නිසා මේ දිනවල ගෙදර අයත් එක්ක සතුටින් කාලය ගත කරනවා. ඒ අතරතුර පුහුණුවීම් කරනවා.

ඊළඟ තරග සඳහා ඔබට අවස්ථාවක් හිමි වෙයිද..?
බටහිර ඉන්දීය කොදොව්වන් එක්ක ටෙස්ට් තරඟාවලියක් තියෙනවා. ඒ සංචාරයට අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරි සංචිත තවම නම් කරලා නැහැ. තේරීම් කමිටුවේ තමයි ක්‍රීඩකයින් තෝරා ගැනීමේ වගකීම තියෙන්නේ. බලමු ඉදිරි තරඟ සඳහා මට අවස්ථාවක් ලැබේවිද කියලා.

නිමා වූ ටෙස්ට් තරඟ ජයග්‍රහණය බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් වුවත් ඒ බලාපොරොත්තුව ඉටු කරන්න කණ්ඩායමට හැකියාවක් ලැබුනේ නැහැ, තරඟ කළ ක්‍රීඩකයෙක් හැටියට පරාජය ගැන ඔබට යමක් කියන්න ඇති, මොකක්ද පරාජයට හේතුව..?
පරාජය වුණාට පස්සේ හේතු කියලා වැඩක් නැහැ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හැටියට අපිට වගකීමක් තිබ්බා අපේ රටේ තිබ්බ තරඟ ජයග්‍රහණය කරන්න. අනිවාර්යෙන්ම මව් රට තුළ පැවති තරඟ ජයග්‍රහණය කරන්න ඕන. අපේ රටේ ක්‍රීඩා කරද්දී පරදින්න බැහැ. නමුත් එහෙම වුණා. මම වගේම අපේ කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක්ම ඒ ගැන කණගාටු වෙනවා. දුක් වෙනවා. කොහොම නමුත් කණ්ඩායමක් විදිහට වැරදි හදාගෙන ඉදිරි තරඟ ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

කොහොමද ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රතිචාර, ඔවුන්ගේ බලාපොරොත්තු යළිත් කඩ කළා..?
ක්‍රීඩකයින් කිසිම තරඟයක් හිතාමතා පරාජය කරන්නේ නැහැ. අපේ දුර්වල තැන් තියෙනවා. අඩුපාඩු තියෙනවා. ඒවා හදාගන්න අපි හැමෝම මහන්සි ගන්නවා. ක්‍රීඩා ලෝලීන් කැමති අපි ජයගන්නවට. තරඟ නරඹන්නේ ජය බලාපොරොත්තුවෙන්. ඉස්සරට වඩා ක්‍රිකට් තරඟ නැරඹීම අඩු වෙලා. ඔවුන්ගේ ආසාව අඩු වෙලා නිතරම පරාජය වීමත් එක්ක. අපි එය වෙනස් කරන්න උත්සහ ගන්නවා. ඉස්සර වගේම ක්‍රීඩා ලෝලීන් එතකොට අපිත් එක්ක ඉදිවී. පරාජයත් එක්ක අපිට දොස් කියන පිරිස වැඩියි.

ටෙස්ට් තරඟ වුවත් කෙටි වේලාවකදී කඩුළු දැවී ගියා. කඩුල්ලේ රැදී ඉන්නේ නැතිව එවැනි තීරණ ගැනීම ගැන බොහෝ දෙනෙක් තුළ තියෙන්නේ හාස්‍යයක්. පිටින් බලන කෙනාට වඩා පිටියේ මැද ඉන්න ක්‍රීඩකයින්ට පීඩනය වැඩියි, නමුත් ඉක්මන් තීරණ නිසා පරාජය අත්වුණා කියලයි කවුරුත් කියන්නේ..?
අනවශ්‍ය කලබලය නිසා තමයි එක ලග කඩුළු දැවී ගියේ. කඩුළු හයක් ඉක්මණින් දැවී ගියාට පස්සේ අන්තිමට එන්නේ පන්දු යවන්නන්. ඔවුන් ඔවුන්ට හැකි අයුරින් සාධාරණය ඉටු කළා. කඩුල්ලේ රැදෙමින් හෙමින් ලකුණු රැස් කරන්න තිබ්බා කියලා ක්‍රීඩකයෙක් හැටියට මටත් හිතෙනවා.

තණතිල්ලේ බලපෑම කොහොමද..?
ගාල්ල ක්‍රීඩා පිටියේ තණතිල්ල සැකසිලා තියෙන්නේ දඟ පන්දු යවන්නන්ට උචිත විදිහට. ඒ නිසා හිතුවා එන පන්දුවට පහර දෙද්දී ලකුණු අතරට යන්න පුළුවන් කියලා. නමුත් අනවශ්‍ය පහරදීම් නිසා තමයි ඉක්මණින් දැවී යාම් වුණේ. හිතපු දේ කරගන්න බැරි වුණා.

ජාතික කණඩායමට එකතු වූ දඟ පන්දු යවන්නෙක් වූ ලසිත් ඇඹුල්දෙණියගේ දක්ෂතා කැපී පෙනුණා..?
ඔහුගේ දක්ෂතා මතු වුනා. මේ වෙද්දී තරඟ 7කට පමණයි ඔහු සම්බන්ධ වුනේ. තව වසරක් දෙකක් යද්දී ඔහුගේ පළපුරුද්ද වැඩි වෙනවා. දඟපන්දු යවන්නෙක් හා පිතිකරුවෙක් විදිහට ඔහුගේ අනාගතය සුබ එකක් වෙයි. ඇත්තටම ඔහු ගැන සතුටු වෙන්න පුළුවන්.

තරඟ කිහිපයකින්ම බින්දුවට දැවී ගිය කුසල් මෙන්ඩිස් ගැන සමාජ මාධ්‍ය විවේචන එල්ල වුනා..?
කුසල් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් ඔහු පසුගිය තරඟ කිහිපයක දක්ෂතා පෙන්වන්න බැරි වුනා. පහර දෙමින් දක්ෂතා අතරේ ඉන්නකොට වගේම පරාජයන් වලදී ඔහුට ශක්තියක් වෙන්න ඕන කවුරුත්. ජයගද්දී පිළිගන්නයි. පරාජය වෙද්දී පහරගහන්නයි හොඳ නැහැ. කඩාවැටෙන කොට තමයි කණ්ඩායමක් විදිහට ඔහුව ඇදගෙන යන්න ඕනේ. මම හිතනවා ඔහුට විවේක කාලයක් ලැබුණු එක හොඳයි. විවේකයෙන් පසුව ඔහු හොඳ මානසික මට්ටමකින් කණ්ඩායමට එක්වෙයි. ඊට පසුව ඔහුගේ දක්ෂතා දැකගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ඔබත් කබහට ලක් වුනා, තරඟ අතරේ ඕමි හෙවත් කාඩ් සෙල්ලම් කළා කියලා ඔබව විවේචනය කළා. ඇත්තටම මොකද වුණේ සුරංග..?
ඒ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි. ඒ කතාව ප්‍රචාරය වුණේ කාගේ වුවමනාවටද කියලා මම දන්නවා. දකුණු අප්‍රිකා තරඟ සංචාර අතරතුර මම ආබාධයට ලක් වෙලා හිටියේ. ඒ වගේම පළමු ටෙස්ට් තරඟයේ 15 වැනි හෝ 17 වැනි ක්‍රීඩකයා හැටියටවත් මම හිටියේ නැහැ. මගේ නම තිබ්බේ නැහැ. මොකද මම ආබාධයට ලක් වෙලා විවේකිව ඉදලා පුහුණුවීම් සඳහා සම්බන්ධ වුනු නිසා. ඒ වෙද්දී මම පුහුණුවීම් කළේ දෙවැනි ටෙස්ට් තරඟයට සම්බන්ධ වෙන්න . මම පුහුණුවීම් අවසන් කරලා මහන්සිය නිවා ගන්න ඕමි ක්‍රීඩා කළා. නමුත් තරඟ අතරතුර නෙමෙයි. කණ්ඩායම් විවේකාගාරයට ඕමි එහෙමත් නැත්තම් කාඩ් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. වෙන කෙනෙක්ගේ වුවමනාවට මට මඩ වැදුණා. කරපු අය කවුද කියලා මම දන්නවා. අඩු තරමින් ඒ දර්ශනයේ පෙන්නේ නැහැ මම ඕමි ගහනවා කියලාවත්.

ක්‍රීඩකයින්ගේ විනය ගැන විවිධ කතා මතු වෙනවා, පසුගියදා දැඩිලෙස දක්ෂ පන්දු යවන්නෙක් වූ වනිඳු හසරංග විවේචනයට ලක් වුණා..?
මොන ක්ෂේත්‍රයක හිටියත් කතා හැදෙනවා. ක්‍රීඩකයෙකුට වැදගත්ම දේ විනය. විනය පවත්වාගෙන යෑම වැදගත්. නමුත් වනිඳු හසරංග කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ලොකු වෙනසක් ඉදිරියේදී කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඔහු ඒ වගේ දෙයකට සම්බන්ධ වෙයි කියලා කොහෙත්ම හිතන්න බැහැ. කතා හදන්න පුළුවන්, නමුත් වනිඳු හසරංග එහෙම හැසිරුණා කියලා අපි ඇස් දෙකට දැක්කේ නැහැ. ඒක මවපු පුවතක් වෙන්න ඇති කියලයි මම නම් හිතෙන්නේ.

කොහොමද පුද්ගලික ජිවිතේ තොරතුරු, බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු...?
මගේ බිරිඳ ඩිලානි ද සිල්වා . අපිට අවුරුදු 6ක පුතෙක් ඉන්නවා. මම මාස දෙකක් ගෙදර හිටියේ නැති නිසා ගෙදර මගහැරුනා. විවාහයෙන් පස්සේ ගෙදර සියලුම බර කරට ගත්තේ බිරිඳ. පවුලේ කටයුතු ගැන මට බලන්න දෙයක් එයා ඉතුරු කරන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ක්‍රිකට් ගහනවට වඩා අමාරුයි ගෙදර පාලනය. බිරිඳ වෙන මහන්සිය ගැන මම දන්නවා. ඇයගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක් කියලා තමයි කියන්න තියෙන්නේ.

හර්ෂණී වීරරත්න

0 Comments