Breaking News

Responsive Ad Here
Responsive Ad Here

මගේ රංගන ජීවිතය ගැන මම අසීමතව තෘප්තිමත් - ශ්‍රියාණි අමරසේන

Responsive Ad Here
‘හාට්’ හී පිටු පුරා දිවෙන සුවහසක් වූ කලාකරුවන්ගේ රස තොරතුරු අතර මෙවර ශ්‍රියාණි අමරසේන වෙනුවෙන් කළ සොඳුරු කතාබහකටද ඉඩ වෙන්විය. සිංහල සිනමාවේ කඳුළු බින්දුව යන සංවේදී විරුදාවලිය ලත් ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘දෑස නිසා’ හී සුන්දරී ලෙස සිය රංගන ජීවිතය ආරම්භ කළාය. ප්‍රවීණ සිනමාකරු තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණශීලී මෙහෙවර හරහා සිනමාවට නැඟුණු ‘විරාගය’ නම් සුප්‍රකට නවකතාවෙහි ‘සරෝජනී’ගේ චරිතය රඟපෑ ඈ…, මෑතකදී සිංහල සිනමාව තුළ ‘යාත්‍රා’වක් දියත් කරලීමට බලාපොරොත්තු පොදි බැඳ බලා සිටියාය.
‘යාත්‍රා’වට සිදුවූයේ කුමක්ද?
ශ්‍රියාණි අමරසේන යම් නිහඬතාවයක කල්ගෙවන්නේද? යන ප්‍රශ්නයන්ට උත්තර සොයා ගන්නටත්, අලුත් තොරතුරු දැනගන්නටත්, ඒ සොඳුරු කලාකාරිය සොයා ගිය ගමනක වංහුං මෙලෙස සටහන් කරන්නෙමු.
 
ඉතින් කොහොමද? මොකෝ මේ දවස්වල නිහඬතාවක සිටින්නේ?
එහෙමම ලොකු නිහඬතාවයක් නම් නැහැ. හැබැයි මේ දවස්වල අමරෙ ටිකක් අසනීපෙන්.., ඔහු වෙනුවෙන් කරන වෛi ප්‍රතිකාර නිසා මම ටිකක් විතර කාර්යබහුල වෙලා ඉන්නවා කිව්වොත් ඒක තමා ඔයාගේ ප්‍රශ්නයට හරි යන උත්තරය.
 
ඒ කියන්නේ ඔබ තවමත් කලාකටයුතුවල නියැළෙනවා?
නැතුව.., ශ්‍රියාණි අමරසේන කියන කලාකාරිය කොහොමද කලා කටයුතුවලින් ඈත් වෙලා ඉන්නේ. කලාව කියන්නෙ මගේ ජීවිතයේ කොටසක්.
 
එහෙනම් අපි ඔබේ ‘යාත්‍රා’ ගැන කතා කරමු.., ඇයි එය අතරමඟ නතර වූයේ?
යාත්‍රා අතරමඟ නතර වූයේ නැහැ. මට මතක හැටියට මම යාත්‍රා ගැන පළමුව දීර්ඝව කතා කළේද ‘මව්රට’ පුවත්පතට තමයි. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ මගේ නිෂ්පාදනයක් වූ ‘යාත්‍රා’ ශ්‍රී ලංකාව වාගෙම නේපාලයේද රූගත කිරීම් කළ චිත්‍රපටයක්. අතුරුදන් වූ සහෝදරයකු සොයා යන සහෝදරියකගේ අනුවේදනීය කතා පුවතක් ගැන කියැවෙන ‘යාත්‍රා’ සිනමාපටය තිරගත කිරීමට සියල්ල සූදානම්ව තිබියදී තමයි කොරෝනා පළමු අවදානම පැමිණියේ. තවමත් ඉතින් ඒ සඳහා අවැසි පසුබිම සැකසුණේ නැති නිසා තමයි ‘යාත්‍රා’ව සිනමාවේ ගමන් කිරීම ආරම්භ නොකළේ.
 
අලුත් ටෙලියකට ඔබ සම්මාදම්ව සිටින බව ආරංචි වුණා?
ඔව්.., එය හරිම සංවේදී කතා පුවතක් රැගත් ටෙලියක්… ‘කුංචනාද’ නමින් ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ අධ්‍යක්‍ෂණයට හසුව තිබෙන ඒ ටෙලි කතාව නිෂ්පාදනය කරන්නේ විශේෂඥ වෛi ලක්‍ෂ්මන් මාකඳුරයි
 
 ‘කුංචනාදය’ට ඔබේ ඇති සම්බන්ධය කුමක්ද?
‘කුංචනාදය’ මෙහෙයවන සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධානියා මමයි. එලෙසම රංගනයෙන්ද මම එයට දායක වෙනවා.
 
‘කුංචනාද’ ගැන තව තොරතුරු ටිකක් කියමුද?
‘කුංචනාද’ කතාවට පසුබිම්ව තිබෙන්නේ, අලි – මිනිස් ගැටුමක හැඟීම්බර කතා පුවතයි. මිනිසුන්ට වාගේම අලි ඇතුන්ටද මේ මහ පොළොව අයිති බව එහි කියැවෙනවා… මා සමඟ නවක රංගවේදීන් කිහිපදෙනකු ‘කුංචනාද’ සඳහා එක්ව සිටිනවා. ‘කුංචනාද’ ටෙලි කතාව ආරම්භ කරන්නට දින යොදා ගත්තේ 2020 ආරම්භයේදීමයි.., කොරෝනා උවදුර නිසා සියල්ල ඇනහිටියා. නැවැත රූගත කිරීම් ආරම්භ වූයේ 2021 ජනවාරි මුලයි. ගල්ගමුව, රඹුක්කන ප්‍රදේශවලදී සිදුවූ එහි සියලුම රූගත කිරීම් දැන් අවසානයි. ඉතිරිව තිබෙන්නේ ජගත් වීරතුංග අතින් සිදුවිය යුතු සංස්කරණය තමයි. බොහෝ දුරට ‘කුංචනාද’ අප්‍රේල් මස විකාශනය වේවි.
 
‘කුංචනාද’ ටෙලි නාටකයට ඔබ ගිවිසුම් ගැහුවේ කුමන රූපවාහිනී සේවය සමඟද?
තවමත් එය තීරණය වූයේ නැහැ. අපට හොඳ පිළිගැනීමක් ලබා දෙන සේවාව කුමක්ද, එම රූපවාහිනී සේවයට අපි ‘කුංචනාද’ බාර දෙනවා.
 
 ‘යාත්‍රා’ කළ ක්‍රිස්ටි ෂෙල්ටන් සමඟ ‘කුංචනාදය’ටද එක් වුණේ ඔහුගේ නිර්මාණශීලීත්වය ඔබට ප්‍රියවූ නිසාද?
බොහෝ දුරට ඔබ නිගමනය කළ දේ හරි. ක්‍රිස්ටි ෂෙල්ටන් කියන්නේ අපට සිටින ඉතාම හොඳ නිර්මාණකරුවෙක්. ඔහුට ප්‍රේක්‍ෂකයන් කැමැති දේ ගැන, ඔවුන් ඉල්ලා සිටින දේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ වාගේම තමාට බාර දෙන නිර්මාණය වෙත ඔහු දක්වන උනන්දුව, කැපවීමද ඔහු වටා සිටින ඕනෑම අයකුගේ සිතට දැනෙනවා. අන්න ඒ නිසා මම විතරක් නෙවෙයි ක්‍රිෂ්ටිට යම් නිර්මාණයක් බාර දෙන නිෂ්පාදකවරයෙක් ඔහුව ලෙහෙසියෙන් අත නොහරින බව විශ්වාසයි. ‘යාත්‍රා’ වාගෙම ‘කුංචනාද’ කරනවිටත් එය මට හොඳින්ම දැනුණා.
 
අවසාන වශයෙන් කියන්න, ‘ගොළු හදවතේ’ සිට ‘කුංචනාද’ දක්වා පැමිණි ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්.., මා ගැන මගේ රංගන ජීවිතය ගැන මම අසීමිතව තෘප්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉතා තරුණ රංගනවේදිනියක ලෙස ගොළු හදවත, දෑස නිසා සමඟ සිනමාවට පැමිණි මම අද සාර්ථක පවුල් ජීවිතයක් හරහා මිත්තණියක ලෙස තවමත් මා සතු රංග කුසලතාවය ප්‍රේක්‍ෂකයනට තිළිණ කිරීම ගැනද මට දැනෙන සතුට අප්‍රමාණයි කියන එක මෙහිදී ප්‍රකාශ කර සිටිනවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

0 Comments