"මියුරි ආන්ටි ඒ මියුරු හිනාවත් මුවේ රඳවගෙන යන්නම යනවා..."
ප්‍රවීන වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක වන මියුරි සමරසිංහ ඊයේ (06) වත්තල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වුණා.
1939 මාර්තු මස 15 වනදා මොරටුව ප්‍රදේශයේදී උපත ලද ඇය ගුවන් විදුලියේ මාසික රැඟුම සංගීත ප්‍රසංගයෙන් මුල්වරට සිය රංගන ජීවිතයට අත්පොත් තැබුවා.
මිරිඟුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් සිනමාවට අවතීර්ණ වූ ඇය මඩොල් දූව, සාරා, යස ඉසුරු, විරාගය, යහළු යෙහෙළි, යුගාන්තය, මංගල තෑග්ග, යුවතිපති, මාරුතය සහ භව දුක ආදි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා.
වැඩිහිටි කාන්තා චරිත රංගනය සඳහා නම් දැරූ මියුරි සමරසිංහයන් මෑත කාලයේදී පත්තිනි සහ ඝරසරප වැනි චිත්‍රපටවලට ද සිය රංගනය මුසු කර තිබෙනවා.
බන්දුල විතානගේ නිර්මාණය කළ එරබඳු මල් තුළින් ටෙලි නාට්‍ය සඳහා පිවිසි ඇය නෑදෑයෝ, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ, ගංගා සහ නිශ්ශංක සහ ඉර පාය වැනි ටෙලි නාට්‍ය රැසකට සිය දායකත්වය ලබා දුන්නා.
මේ අතර ඇයගේ මෙම වියෝව ගැන සඳහන් කරමින්, ජනප්‍රිය රංගන ශිල්පිනි සුජානි මේනකා සිය ෆේස්බුක් පිටුවෙහි තබා තිබුණේ මෙවැනි සටහනක්...
"හරිම ලස්සන හිනාවක් ඇයට තියෙන්නේ. ඇයව මුනගැසුනු හැම මොහොතකම මම ඇයට ඒ ගැන කියනවා. ඇය තමයි මුලින්ම මේ ක්ෂේත්‍රයට මාව හදුන්වලා දෙන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට මං ගැන කියන්නේ.මියුරි ආන්ටි ඒ මියුරු හිනාවත් මුවේ රඳවගෙන අද යන්නම යනවා. සුභ ගමන් ආදරණීය මියුරි ආන්ටි.."

0 Comments