මම ටිකක් නිහඬව හිටියා තමයි. එහෙම වුණේ මට නිර්මාණවලට කතා නොකළ නිසා නෙවෙයි. සෑහෙන්න නිර්මාණවලට ආරාධනා ලැබුණා. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා අතරින් වැඩිපුර කතා කරන්නේ හර්ෂණ බෙත්මගේ කියන නළුවාට නෙමෙයි. මං මේ මොකක්ද කියන්නේ කියලා පැහැදිලි කළොත්, බහුතරයක් අපිට කතා කරන්නේ, දිනවලටයි ගෙවන මුදලටයි සරිලන නළුවෙක් බලාපොරොත්තුවෙන්.
මුලින්ම කතා කරද්දි අහන්නේ දින ටික කොහොමද කියලා. ඒ ටික ඕකේ නම් මෙච්චරයි දෙන්නෙ කියලා මුදල කියනවා. අන්න ඒවාට හරි යනවා නම් ඒ නිර්මාණයට අපිට දායක වෙන්නට පුළුවන්. නමුත් එහෙම නෙමෙයිනේ වැඩක් කරනවා නම් කරන්න ඕන. හරි පිටපතක්වත් තියෙන්න ඕන නේද නිර්මාණයක් කරද්දි, ඒ මොකවත් නැතිව දින ගණනට සහ මුදලට සරිලන නළුවෙකු බලාපොරොත්තුවෙන් මට කතා කරන නිර්මාණවලට මම ගියේ නැහැ.
හැබැයි ඔබ නොගියට ඒ තැනගන්න නළුවෝ ඕන තරම් ඉන්නවා නේද?
වෙන්න පුළුවන්. මම බෑ කිව්වට ඊට සරිලන වෙන කෙනෙක් ඒ ආරාධනාවට හා කියන්න පුළුවන්. හැබැයි ඒ වගේ කරපු බොහොමයක් නිර්මාණ අතරමඟ නැවතුණා. එක්කො ටෙලිකාස්ට් වුණේ නෑ. ඒ නිසා නිර්මාණ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කිසිදු දුකක් මගේ හිතේ නැහැ.
සාමාන්‍යයෙන් රංගනයේ නියැළෙන අයෙකුට පාර්ට් ටයිම් මොනවාහරි දෙයක් කරන්න අවශ්‍යද?
අනිවාර්යනේම ඕනේ. නැතිනම් මොකද දන්නවද වෙන්නේ... අපිට කැමති අකමැති හැම නාට්‍යයකම රඟපාන්නේ යන්න වෙනවා. අර බඩගින්න වෙනුවෙන් රඟපානවා කියන්නේ... මම හිතන්නේ එහෙම නොවී වෙනත් ආදායම් මාර්ගයක් තිබුණා නම් අපිට අපේ ගමන බය නැතුව යන්න පුළුවන්. අපි මුලින්ම මේකට එන්නේ රඟපාන්න තියෙන ආසාවට. නමුත් පසුකාලීනව මෙය අපේ වෘත්තිය බවට පත්වෙනවා. හැබැයි කාලයක් යද්දී අපිට තේරෙනවා එහෙම හොඳ නමක් හදාගන්න නම් ගුණාත්මක නිර්මාණවලට පමණක් දායක වුණොත් හොඳයි කියන එක. එතකොට වෙනත් ආදායම් මාර්ගයක් තියෙනවා නම් අපිට අවශ්‍ය නිර්මාණවලට පමණක් දායක වෙන්න පුළුවන්. මමත් එහෙමයි. පුංචි ව්‍යාපාරයක් මම කරගෙන යනවා. එකත් එක්ක තමයි රංගන කටයුතුවල නියැළෙන්නේ.
පසුගිය කාලයේ ඔබේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් වුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
ඇත්ත. ඒ වගේ යම් යම් දේවල් සිද්ධ වුණා තමයි. ජීවිතයේ අපිට ලැබෙන හොඳ වේවා නරක වේවා ඒක අත්දැකීමක් විදියට ගන්න මම පුරුදු වුණා. සමහර තැන්වලදී වැරදි කවුද කියන එක හොයන්න නැතුව මම නිහඬ වෙච්ච අවස්ථා තියෙනවා. මේ වන විට මම හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා කියලත් කියන්න කැමැතියි.
මං මෙය කෙළින්ම ඇහුවොත්, ඔබේ පෙර බිරිය ජනප්‍රිය රංගන ශිල්පිනි වොල්ගා කල්පනී එක්ක ඔබට යම් නිර්මාණයක රඟපාන්න අවස්ථාවක් හම්බුණොත් මොකද කරන්නෙ?
රංගන ජීවිතයයි පුද්ගලික ජීවිතයයි පටල ගත්තොත්නෙ ඔතන ගැටලුවක් ඇති වෙන්නේ. එහෙම නොවී හිටියොත් කිසි ප්‍රශ්නයක් නෑ කියලා මම හිතන්නේ. නමුත් මමයි වෝල්ගයි එකට සිටි කාලය පවා අපි දෙන්නා එකට රඟපෑවේ නැහැ. එහෙම රඟපාන එකත් සුදුසු නැහැ කියන මතයේ තමයි අපි හිටියේ. ඒක ඔබටත් හොඳට මතක ඇති. අපි දෙන්නට දෙන්න නාට්‍යය හරහා ප්‍රමෝට් වෙන්න කවදාවත් උත්සාහ කළෙත් නෑ. හැබැයි මම හැම තිස්සෙම හිතන්නේ රංගන ජීවිතයයි පුද්ගලික ජීවිතයයි පටලගත්තොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා.
සරසවිය

0 Comments